Description

ගෝමරංකඩවලට පානීය ජලය Pure water for Gomarankadawala
ත්‍රිකුණාමලය දිස්ත්‍රික්කයේ ගෝමරන්කඩවල ප්‍රදේශයේ ජනතාව පිරිසිදු පානීය ජල පහසුව නොමැති කමෙන් විඳිනා පීඩාවන් දුරුකරමින්, සේරුවිල මංගල රාජමහා විහාරාධිපති පූජ්‍ය අළුදෙණියේ සුබෝධි ස්වාමීන්ද්‍රයන් වහන්සේගේ මූලිකත්වයෙන් රුපියල් මිලියන දෙකකට අධික වටිනාකමකින් යුත් ප්‍රතිආශ්‍රැතකරණ ජල පිරිපහදු මධ්‍යස්ථානයක් තනවා මහජන අයිතියට පත්කිරීම ගෝමරන්කඩවල ශ්‍රී රන්පොකුණුගම රජමහා විහාරස්ථ විද්‍යායතන පිරිවෙන් පරිශ්‍රයේ දී පසුගියදා සිදු විය.
ගෝමරන්කඩවල රතනජෝති විද්‍යාතන පිරිවෙන් කෘත්‍යාධිකාරී ත්‍රිකුණාමල දිස්ත්‍රික් පිරිවෙන් සහකාර අධ්‍යාපන අධ්‍යක්ෂක ත්‍රිකුණාමල දිස්ත්‍රික් සාසනාරක්ෂක බලමණ්ඩලයේ හිටපු ලේඛකාධිකාරී රන්පොකුණුගම රජමහා විහාරාධිපති පූජ්‍ය තවලම්හල්මිල්ලෑවේ දේවානන්ද නායක ස්වාමීන් වහන්සේ විසින් සේරුවිල නාහිමිපාණන් වහන්සේගෙන් කරන ලද ඉල්ලීමකට අනුව ශ්‍රද්ධා රූපවාහිනිය මඟින් ක්‍රියාවට නංවන පිවිතුරු පැන් පූජා පුණ්‍ය ව්‍යාපෘතිය යටතේ මේ ජල පිරිපහදු මධ්‍යස්ථානය ඉදිකරනා ලදී. ඒ සඳහා පූර්ණ මූල්‍යමය දායකත්වය දරනු ලැබුවේ ඩුබායි හි පදිංචි ඩග්ලස් හේමජිත් අමරතුංග මහතා විසිනි. මේ උතුම් කර්තව්‍ය සිදුකරනු පිණිස එතුමා සහ සේරුවිල නා හිමිපාණන් වහන්සේ අතර සම්බන්ධීකරණය සිදුකරන ලද්දේ එක්සත් රාජධානියේ පදිංචි සම්පත් ප්‍රීතිකුමාර මහතා විසිනි.
මෙම ජල පිරිපහදු මධ්‍යස්ථානයෙන් දිනකට පිරිසිදු පානීය ජලය ලීටර් 15,000කට අධික ප්‍රමාණයක් ලබා ගත හැකි අතර එමඟින් සියගණනක් ජනතාවගේ පවස සන්සිදෙනු ඇත. මේ ප්‍රදේශය පුරා ව්‍යාප්තව පවතින මාරාන්තික වකුගඩු රෝගයෙන් සියගණනක් ජනතාවගේ ජීවිත ගලවා ගැනීමට මෙමගින් අවස්ථාව උදා වේ. ගෝමරන්කඩවල ශ්‍රී රතනජෝති විද්‍යාතන පිරිවෙනේ ඉගෙනුම ලබන සාමණේර ස්වාමීන් වහන්සේලා ඇතුළු සිය ගණනක් වන සිසු දරුවන්ගේත් ගම්වාසීන්ගේත් ජීවිත මාරාන්තික වකුගඩු රෝගයෙන් ගලවාගෙන සුරක්ෂිත කරනු පිණිසත් පවස සන්සිඳවනු පිණිසත් මෙම ජල පිරිපහදු මධ්‍යස්ථානය නිරතුරු උපකාරී වනු ඇත. මෙම උතුම් පුණ්‍යකර්මය සිදුවන මොහොතේ දී ඩග්ලස් හේමජිත් අමරතුංග මහතා විසින් ගම්වාසීන් වෙත ශ්‍රද්ධාවෙන් වන්දනාමාන කරනු පිණිස උතුම් බුදුපිළිම වහන්සේලා විශාල ප්‍රමාණයක් ද පරිත්‍යාග කරනා ලදී.
සේරුවිල නාහිමිපාණන් වහන්සේගේ වැඩමවීමෙන් සිදු වූ මෙම උතුම් පින්කමට ගෝමරන්කඩවල රතනජෝති විද්‍යාතන පිරිවෙන් කෘත්‍යාධිකාරී ත්‍රිකුණාමල දිස්ත්‍රික් පිරිවෙන් සහකාර අධ්‍යාපන අධ්‍යක්ෂක ත්‍රිකුණාමල දිස්ත්‍රික් සාසනාරක්ෂක බලමණ්ඩලයේ හිටපු ලේඛකාධිකාරී රන්පොකුණුගම රජමහා විහාරාධිපති පූජ්‍යපාද තවලම්හල්මිල්ලෑවේ දේවානන්ද නායක ස්වාමීන් වහන්සේ, ගෝමරන්කඩවල ශ්‍රී රතනජෝති විද්‍යාතන පරිවේනාධිපති කන්දමාලාව රිදීලෙන් රජමහාවිහාරාධිපති පූජ්‍යපාද නාරංඕවිට චන්දානන්ද ස්වාමීන්ද්‍රයන් වහන්සේ වරප්‍රමුඛ ප්‍රදේශවාසී මහා සඟරුවන ද දායකත්වය දැරූ ඩුබායි හි පදිංචි ඩග්ලස් හේමජිත් අමරතුංග මහතා ඇතුළු පවුලේ ඤාති හිතමිත්‍රාදීන් ද ගම්වාසීන් ද සහභාගී වූහ. පිවිතුරු පැන් පූජා පුණ්‍ය ව්‍යාපෘතිය ශ්‍රද්ධා රූපවාහිනිය මඟින් සිවිල් ආරක්ෂක දෙපාර්මේන්තුව හා කැලණිය විශ්වවිද්‍යාලීය රසායන විද්‍යා අංශය හා එක් වී ක්‍රියාවට නංවනු ලැබේ.

The Names Of Donors

ඩුබායි හි පදිංචි ඩග්ලස් හේමජිත් අමරතුංග මහතා විසිනි.

Location

Anuradhapura, Sri Lanka